2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

පාවෙන බලාගාරයට කිසිම බද්දක් නැහැ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:29 44

I ව්‍යාපාරික වාර්තාකරු

විදේශීය පාවෙන විදුලි බලාගාරයක් සියලු බදුවලින් නිදහස් කොට එයින් රජයට විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙගාවොට් 200ක ධාරිතාවක් ඇති තුර්කියට අයත් මෙම පාවෙන විදුලි බලාගාරය (බාජ්) මෙරටට විදුලිය විකිණීමේදී අයකරන රාජ්‍ය බදු සියල්ලෙන් නිදහස් කොට ඔවුන් නියම කරන මිලට විදුලිය මිලට ගතයුතු යැයි අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත. එසේම ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන මෙකී බලාගාරය සඳහා මහ මුහුදේ සිටම ඉන්ධන සැපයෙන බැවින් ඉන්ධන බදුද ශ්‍රී ලංකා රජයට හිමි නොවේ.

හදිසි මිලදී ගැනීමක් ලෙස මෙකී විදුලිය මෙගාවොට් 200 මිලදී ගන්නා අතර ඒ අයගෙන් විදුලිය මිලදී ගත්තත් නැතත් බලාගාරයේ ධාරිතාවෙන් 70%ක් සඳහා ගාස්තු ගෙවීමද අනිවාර්ය කෙරෙන කොන්දේසියක්ද අදාළ සමාගම ඉදිරිපත් කර ඇත. එම බලාගාරය හිමි සමාගමේ අයැදුම මත මේ මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන බව වැඩිදුරටත් අප වෙත වාර්තාවෙයි.