2019 මාර්තු 30 වන සෙනසුරාදා

පැරදුණු වැය ශීර්ෂ දෙක ආපසු ඡන්දෙට

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 08:05 85

දේශපාලන වාර්තාකරු l

කාරක සභා අවස්ථාවේ පරාජය වූ වැය ශීර්ෂ දෙක නැවත මැතිසබයට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් දේශයට කීය. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද මාධ්‍ය හමුවේ ඒ බව තහවුරු කර තිබිණි. 

යම් හෙයකින් ලබන 5දා හෝ ඉන් පෙර අයවැය සමඟ මෙම වැය ශීර්ෂ සම්මත කර නොගතහොත් අවසන් ඡන්ද විමසීමට ලක් කෙරෙන්නේ අසම්පූර්ණ අයවැයක් යැයි ද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට පරාජිත විෂයයන් සඳහා මුදල් වෙන් කරගත හැකිදැයි කියා අප කළ විමසුමට පිළිතුරු දුන් හෙතෙම වැය ශීර්ෂයක් සම්මත නොවී පරිපූරකයක් ඉදිරිපත් කළ නොහැකිය යන්න තම මතය බව සඳහන් කළේය. මෙයට පෙර හිටපු අමාත්‍යවරුන් වන තොණ්ඩමන් හා ෆවුසි මහත්වරුන්ගේ වැය ශීර්ෂ ද මෙලෙස පරාජය වී ඇති බවත් එහිදීද වැය ශීර්ෂ නැවතත් අනුමත කරගෙන වියදම් ලබාගත් වගත් හෙතෙම පැවසීය. එහෙත් ඒ සඳහා නැවත කැබිනට් අනුමැතියක් ලබාගත යුතුය.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියන්නේ 2019 සමස්ත අයවැයෙන් වෙන්කර ඇති මුදලින් 1/3ක් මෙම අමාත්‍යාංශ දෙකට වෙන්කර ඇති බවය.