I යසවර්ධන රුද්රිගු
තමා විශ්‍රාම ගිය පසු රජයේ කිසිම තනතුරක් භාර නොගන්නා බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා දේශයට පැවසීය. ලබන අප්‍රේල් 5 දා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු තමා විශ්‍රාම ගොස් නිවෙසට වී බණ දහම් කටයුතුවල නිරත වන බව හෙතෙම පැවසීය.
ගැමියකු හා ගොවියක් වන තමාට කුඹුරු වැඩ කිරීමටද පළපුරුද්දක් ඇති බව පැවසූ විගණාකාධිපතිවරයා තමා ගමේ කුඹුරු කෙටීමේ වැඩවලද නිරත වන බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිගේ සේවා කාලය තීරණය කර ඇතැයි පැවසූ විගණකාධිපතිවරයා වයස අවුරුදු 60න් ඔබ්බට රාජ්‍ය සේවයේ නිරත විය නොහැකි බවද පැවසීය.
ආණ්ඩුව බොහෝ ගැටලුවලට කොමිෂන් සභා පත්කර නිර්දේශ ලබා ගැනීමට කටයුතු කරන බව පෙනෙන්නට ඇති බව පැවසූ විගණකාධිපතිවරයා තම විගණන වාර්තා නිසි පරිදි අධ්‍යයනය කර ගැටලුවලට පිළියම් යෙදුවා නම් මෙවැනි කොමිෂන් සභා පත්කිරීමක් අවශ්‍ය නොවන බවද අවධාරණය කළේය. එම කොමිෂන් සභා වාර්තා අවසානයට පැමිණෙන්නේ තමාගේ නිර්දේශවලට බව පැවසූ ඔහු කොමිෂන් සභාවලින් කෙරෙන්නේ ගැටලුවලට විසඳුම් සෙවීමට ප්‍රමාද කිරීම සහ මහජන මුදල් නිකරුණෙ නාස්ති කිරීම බවද කීවේය.