2019 මාර්තු 02 වන සෙනසුරාදා

ජනපති ඝාතන කුමන්ත්‍රණය: ඩුබායි ගිහින් මධූෂ්ගෙන් ප්‍රශ්න කරයි!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 294

ආරක්ෂක වාර්තාකරු l

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය ගැන මාකඳුරේ මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීන්දු කර ඇත. ඒ සඳහා පොලීසියේ විශේෂ විමර්ශන නිලධාරීන් තිදෙනකුට ඩුබායි වෙත පැමිණ මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවසරය ඉල්ලා රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් එරටට යොමු කර තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ ජනපති - ගෝඨා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දුරකතන සංවාද ඇතුළත් හඬ පටයේ මධූෂ් ගැන ස්ථාන කිහිපයකම සඳහන් වන නිසාය. එබැවින් මධූෂ් එකී කුමන්ත්‍රණයට සම්බන්ධ වූ ආකාරය තහවුරු කර ගැනීමට මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවසර පතා ඇත.

රාජ්‍ය නායක කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීමට ඩුබායි රජය මෙරට පොලීසියට අවසර ලබා දෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රතික ආරංචි මාර්ග විශ්වාසය පළකරයි. එහෙත් මධූෂ්ට අදාළව මෙතෙක් සිදුවූ පරීක්ෂණ කටයුතු කිසිවකට මැදිහත් වීමට ඩුබායි පොලීසිය ශ්‍රී ලංකා පොලීසියට අවසර දුන්නේ නැත. ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් පිරිසක් මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීමට එරටට ගිය බවට මෙයට පෙර පළවූ වාර්තා සියල්ල අසත්‍ය බව ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල ආරංචි මාර්ග කියයි