2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

රාජකාරී වෙලාවේ ෆේස්බුක් මොබයිල් ෆෝන් බැහැ - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

I ජේ.ඒ.එල්. ජයසිංහ

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන තුළ රාජකාරි අවස්ථාවන්හිදී අන්තර්ජාල, ෆේස්බුක් (ජංගම දුරකතන) භාවිතය සපුරා තහනම් කිරීමටත් රාජකාරි අවස්ථාවන්හිදී එම මෙවලම් භාවිත කරන රාජ්‍ය සේවකයන්ගේ වැඩ තහනම් කිරීමටත් තමන් පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේය.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් අනියම් සේවකයන්, රියදුරු හා කාර්යාල සහාක සහායිකාවන්, පුස්තකාල සහායකයන් වෙත ස්ථීර පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එම පිරිස දැනුම්වත් කරමින් රාජකාරි අවස්ථාවන්හිදී රාජකාරියට අදාළ නොවන කටයුතුවලින් වැළකී සිටින ලෙසද දැනුම්දීමක් කළේය.

බොහෝ රජයේ කාර්යාලවල සේවයේ නියුතු ඇතැම් රාජ්‍ය සේවිකාවන් (ලිපිකාරිනියන්, සංවර්ධන නිලධාරිනියන්) රාජකාරි අවස්ථාවේ කාර්යාලය තුළදී තම රුව හැඩගැන්වීමේ කටයුතුවල යෙදෙමින් සිය රාජකාරි කාලය තුළද අනවශ්‍ය කටයුතුවල යෙදෙන බවත් මෙම තත්ත්වය යටතේ රජයේ කාර්යාලයකින් සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට බොහෝ දුෂ්කරතාවයනට මුහුණදීමට සිදුව ඇති බවද පැවසූ පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා රාජකාරියට වෙන්වී තිබෙන කාලසීමාවේදී ජංගම දුරකථනය ඔබමින් (භාවිතා කරමින්) තමන්ට පැවරී තිබෙන විෂය රාජකාරි සහ මහජන සේවාවන් නොසලකා හරින රාජ්‍ය සේවක සේවිකාවන් සම්බන්ධව පැමිණිලි ලදොත් එම අයට කිසිදු සමාවක් නොදීමට තමන් දැඩි ලෙස තීරණය කළ බවද සඳහන් කළේය.