2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

විශ්වාසභංගය පිළිගන්න : අැමෙරිකාව කියයි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ගනු ලැබූ තීරණයත් ඒ සමඟම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද විශ්වාසභංග යෝජනා දෙක ප්‍රතික්ෂේප කිරීමත් ජනාධිපතිවරයාගේ කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමත් සම්බන්ධයෙන් තම බලවත් සැලකිල්ල යොමු වී ඇතැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවමින් කියා සිටී.

මෙම දැනුම්දීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ගේ අත්සනිනි. අමෙරිකාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින ප්‍රජාතන්ත්‍රවාදී බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ ලිපිය යොමුකරන බව ප්‍රකාශ කරන සෙනෙට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ නීතියේ පාලනයට ගරු කරමින්, පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නා ලද විශ්වාසභංග යෝජනා දෙකේ ප්‍රතිඵලය පිළිගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය සති කිහිපය තුළදී ගන්නා ලද ඇතැම් තීන්දු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් නීතියේ පාලනයත් අනතුරේ හෙළා තිබෙන බවද වර්තමානයේ උද්ගතව තිබෙන අවහිරතා මගහරවා ගනිමින් අර්බුදය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද එම ලිපියේ සඳහන් වෙයි.