2017 ජනවාරි 28 වන සෙනසුරාදා

පුංචි කාර් මිල යළි නගියි

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 36


ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇන්ජින් ධාරිතාව සී.සී. 1000ට අඩු වාහනවල මිල රුපියල් ලක්ෂයකින් පමණ මිල ඉහළ දැමීමට නියමිත බව වාහන ආනයනකරුවෝ පවසති.

මෙලෙස වාහන මිල යළිත් වැඩිවීමට හේතු දෙකක් බලපා ඇති බව වාහන වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩා ඉන්දියානු වාහන වැඩි වශයෙන් ආනයනය කරන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සාමාන්‍යාධිකාරි (මරුටි) විරාන් ද සොයිසා පවසන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන වාහන සඳහා පාවිච්චි කරන ලෝහ වර්ගවල මිල ඉහළයාම නිසා නිෂ්පාදිත පිරිවැය වැඩිවීමෙන් පෙබරවාරි - මාර්තුවල සිට ආනයනය කරන වාහනවල මිල රුපියල් ලක්ෂයකට වැඩි ගණනකින් ඉහළ යන අතර එසේ වැඩිවන නිශ්චිත මිල මෙතෙක් ප්‍රකාශ කර නැති බවය. එහෙත් දැනට ඇති තොගවල මිල හදිසියේ වැඩි නොකරන අතර සී.සී. 800 ඇල්ටෝ කාරය (එයාර් බෑග් සහිතව) රුපියල් 22,92000 මිල එසේම පවතින බවද ඔහු අවධාරණය කළේය. 

මේ පිළිබඳ විමසීමේදී වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් නෙරෙංචිගේ පවසන්නේ පසුගිය සමයේ වාහන මිල කිහිප වතාවක් වැඩිවීම නිසා ව්‍යාපාරිකයන්ට වාහන අලෙවි නොවීමේ ගැටලුවකට මුහුණදීමට සිදුවූ බැවින් තමා සන්තකයේ තිබූ වාහන මිල ඉහළ දැමීමකින් තොරව ඉතා සුළු ලාභයක් පමණක් තබාගෙන විකිණීමට සිදුවූ බවය. එහෙත් ඊට පසු ආනයනය කළ වාහන සාමාන්‍ය පරිදි ලාභ ලබාගෙන විකිණීම නිසා ඒවායේ මිල රුපියල් ලක්ෂයකට වැඩියෙන් ඉහළ ගොස් ඇති බව ඔහු කියයි. එසේ නොවුණහොත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇති බව පවසන සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැනට වාහන ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් පැමිණෙන අය අඩුවී ඇති අතර එසේ පැමිණි ඇතැම් අලුත් ව්‍යාපාරිකයන්ට රැඳී සිටීමට නොහැකිව ව්‍යාපාර වසා දැමීමට සිදුව ඇති බවය.

එසේම අයවැයෙන් වාහනවලට දෙන ලීසිං පහසුකම් සියයට 50ක් කිරීම නිසා වාහන අලෙවිය විශාල ලෙස පහළ බැස ඇති බව පෙන්වා දෙන ඔහු රටේ සංවර්ධනය යොදා ගන්නා කුඩා ප්‍රමාණ වෑන්, ජීප් සහ ලොරි ආදියේද අලෙවිය පහළ යාම ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව කියයි. 

I යසවර්ධන රුද්රිගු