2018 මැයි 19 වන සෙනසුරාදා

භූමිතෙල් සහනය පුංචි බෝට්ටුවලට පමණයි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

සංජීවිකා සමරතුංග l

ඉන්ධන මිල ගණන් ඉහළ යාමෙන් සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා ධීවර බෝට්ටුවලට ලබාදෙන සහනාධාරය බහුදින ධීවර යාත්‍රා (ට්‍රෝලර්) වලට ලබා නොදී කුඩා ධීවර බෝට්ටුවලට පමණක් සැපයෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

රජය ගණන් බලා ඇති ආකාරයට මෙලෙස ඉන්ධන සහනාධාරය ලබා ගැනීමට සුදුසු කුඩා ධීවර බෝට්ටු 25000ක් පමණ ඇත. ඒ අයට මසකට ලබාදෙන ආධාර මුදල කොපමණදැයි තීන්දු කළ පසු ලබන මස 01 දා සිට අදාළ ආධාරය සැපයේ.

එසේම ඉන්ධන මිල ඉහළ යාමෙන් පීඩාවට පත් විදුලිය නොමැති නිවාසවලට භූමිතෙල් සහනාධාරයක් සැපයීමට ද රජය තීන්දු කර තිබේ. රට පුරා විදුලිය නොමැති නිවාස 45,000ක් පමණ ඇතැයි රජයේ වාර්තා කියයි. ඔවුනට දළ වශයෙන් මසකට භූමිතෙල් ලීටර 20ක් සහනාධාර වශයෙන් සැපයිය යුතුයැයි දැනට යෝජනා වී ඇත. ඒ ගැන අවසන් තීන්දුව අද හෙටම ලබාගෙන දිළිඳු ජනතාවට භූමිතෙල් ආධාරය නිකුත් කරනා බව මේ ගැන දේශයට අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.