2018 මාර්තු 31 වන සෙනසුරාදා

අගමැති නොගියොත් සම්මුති ආණ්ඩුව ඉවරයි - රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 484

ගයාන් ගාල්ලගේ l

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කරීමට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉවත් නොවුවහොත් ලබන 4 වැනිදා රාත්‍රී 9.00ට පසු සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය මත තමන් මෙම ප්‍රකාශය කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියට අදාළ විශ්වාසභංගයේ සඳහන් වන චෝදනාවලට එරෙහි වීමේ හැකියාවක් ශ්‍රීලනිපයට නැතැයි ද පැවසීය.

සම්මුතිවාදී රජය දිගටම පවත්වාගෙන යාම සඳහා සිය පක්ෂය කැපවී හිටියත් විශ්වාසභංගයේදී අගමැතිවරයා නිසි පියවර නොගතහොත් සම්මුතිවාදී රජය ආරක්ෂා නොවනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය. කමිටු පත්කිරීම, කල් ගැනීම, නායකත්ව මණ්ඩල පත්කිරීම වැනි දෑ තමන්ට ද හුරුපුරුදු දේ බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිතුමා විශ්වාසභංගය ගැන එ.ජා.ප.ය සමඟ එකඟතාවයකට පැමිණ ඇතැයි කියන ප්‍රකාශ සහමුලින්ම අසත්‍ය බවද කීය. මේ වනවිට ජනාධිපති මාධ්‍ය අංශය මගින් ඊට අදාළව ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (30) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙකී අදහස් පළ කළේය. මේ අවස්ථාවට මහාමාර්ග හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද සහභාගී විය.