2018 මාර්තු 24 වන සෙනසුරාදා

සම්ප්‍රදාය කඩා ආණ්ඩුකාර පත්වීම් දෙයි

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 658

දේශපාලන වාර්තාකරු l

පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් පළාත් ආණ්ඩුකාරවරයන්ට ස්ථාන මාරු ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. මෙතෙක් කල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය හිමි වූයේ සුළු ජාතිකයකුටය.

ඒ අනුව දැන් එම ධූරය දරන්නේ කේ. සී. ලෝගේෂ්වරන් මහතාය. එසේම උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය හිමි වූයේ සිංහල ජාතිකයකුටය. එම ධූරය දැනට දරන්නේ රෙජිනෝල්ඩ් කුරේ මහතාය. අලුතෙන් කර ඇති ස්ථාන මාරු අනුව මෙම සම්ප්‍රදාය වෙනස් කර ඇත.

ජනාධිපතිවරයාගේ තීන්දුව අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේස්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද පත් කරනු ලැබ සටිති. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාර තනතුරට පත් කෙරෙයි. සබරගමුව ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලෙසද දකුණේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා බස්නාහිර ආණ්ඩුකාර ධූරයට ද පත් කෙරෙති. උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා වයඹ පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන අමරු පියසීලි රත්නායක මහත්මිය උතුරු මැද ආණ්ඩුකාර ධූරයට පත් කෙරෙයි.

එහෙත් නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම  මහතාටත් ඌව ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ මහතාටත් ස්ථාන මාරු ලබාදී නැත. ජනාධිපතිවරයාගේ පකිස්ථාන සංචාරයෙන් පසුව ආණ්ඩුකාරවරුන්ට ස්ථාන මාරු ලිපි නිකුත් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.