2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අගමැති අවුල දුරදිග යයි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1334

දේශපාලන වාර්තාකරු l

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඇතිවී තිබෙන නීතිමය සටන නිසා ආණ්ඩුව බරපතළ දේශපාලන අර්බුදයකට තල්ලු වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවතින ව්‍යවස්ථාව අනුව අගමැති ධුරයෙන් ඉවත් නොවී දිගටම කටයුතු කරන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ තමන්ට මැතිසබයේ මන්ත්‍රීන් 117 දෙනකුගේ සහාය හිමිවන බවයි.

එය බහුතරය බැවින් තමන් අගමැති ධුරයට පත්කරන ලෙස ඔහු ඉල්ලා ඇත. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය නිමල් සිරිපාල මහතාට සහය දෙන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.

මේ නිසා හටගෙන ඇති නීතිමය අර්බුදය ගැන උපදෙස් ගැනීමට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා කැඳවීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය තවත් ස්වාධීන ජනාධිපති නීතිඥවරුන් 4 දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් හමුවේ නීතිපති උපදෙස් විමසන ලෙස යෝජනා කර තිබේ.

ඒ අනුව නීතිපතිවරයා සහභාගී වන සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ෆයිස් මුස්තාපා, ගාමිණී මාරපන හා මනෝහරා ද සිල්වා යන මහත්වරුන්ද කැඳවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දෙන්නේ නම් ඒ සඳහා වන කැපවීම ප්‍රකාශ කරන්නට ඇමැති තනතුරු භාරගත යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. එහෙත් කිසිසේත්ම තනතුරු භාර නොගන්නා බවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා කතානායක ධුරය පමණක් භාරගත හැකි බවත් සඳහන්කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්නය සංකීර්ණ තත්ත්වයට පත්වුවද ලබන සඳුදා වන විට අග්‍රාමාත්‍ය ධුරයේ අර්බුදය විසඳා රජය ස්ථාවර කරන බව ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයට දන්වා ඇත.