2018 ජනවාරි 06 වන සෙනසුරාදා

නීතිපති තීරණය සති දෙකකින්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

I දේශපාලන වාර්තාකරු

බැඳුම්කර කොමිසමේ නිර්දේශ පරිදි චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නීතිපතිවරයාගේ තීරණය සති දෙකක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙම කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසුව නීතිපතිවරයා සිය කාර්යාලයට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන මහතා වාර්තාවට අදාළව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් බැඳුම්කර වාර්තාව නීතිපතිට භාර දුන්නේය.

අනතුරුව නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් අදාළ වාර්තාව විමර්ශනය ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නීති උපදෙස් සපයන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව දෙසතියක් තුළ අවශ්‍ය කරුණු දැක්වීම සිදු කෙරෙනු ඇතැයි කියැවේ.

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිහේන යන අයට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගන්නැයි බැඳුම්කර කොමිසම නිර්දේශ කළේය.