
I සකීෆ් සාම් තන්වීරි
පළාත් පාලන ආයතන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ උතුරු නැගෙනහිර හා වතුකරයේ දේශපාලන පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන කොටස්කාර ටෙලෝ පක්ෂය හා ඊ.පී.ආර්.එල්.එෆ් එම සන්ධානයෙන් ඉවත්වීමෙන් හා දෙමළ “විමුක්ති සන්ධානය” නමින් නව සන්ධානයක් බිහිවීමෙන් උතුරේ මේ අර්බුදය නිර්මාණය වී ඇත.
නව සන්ධානය නිසා ආර්. සම්පන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් අරසු කච්චි පක්ෂයේ ආධිපත්‍යයට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි ද මත පළ වී ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර හා වන්නියේ ස්වාධීනව තරග කිරීමට තීරණය කර ඇත. එහෙත් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, හසන් අලි සහ බෂීර් සේගු දාවුද් යන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත්වූ ජ්‍යෙෂ්ඨයන් එක්වී එක්සත් සාම සන්ධානය නමින් නව පෙරමුණක් පිහිටුවා එම දිස්ත්‍රික්කවල තරග කිරීමේ සූදානමින් සිටින බැවින් මුස්ලිම් කොංග්‍රසයට එම දිස්ත්‍රික්ක ජයගැනීම සඳහා ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම අපේක්ෂක ධූර බෙදාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟ එකඟතාවකට ඒමට නොහැකි වූ ප්‍රගතිශීලි ද්‍රවිඩ සන්ධානයට වතුකරය හැර සෙසු දිස්ත්‍රික්ක කිහිපයක තනිව තරග කිරීමට සිදුව ඇතැයි ද වාර්තා වෙයි. මීට අමතරව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා තොණ්ඩමන් මන්ත්‍රීවරයා නායකත්වය දරණ ලංකා කම්කරු කොංග්‍රසය එක් එක් දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ හෝ පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග කිරීමට නියමිතය.