2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

හාල්-පොල් උද්ධමනය නගී

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

I ව්‍යාපාරික වාර්තාකරු

රටේ දැනට බලපවත්වන උද්ධමන අනුපාතය (බඩු මිල ඉහළ යාමේ වේගය) අඩු නොවීමට හේතුව සහල් සහ පොල් මිල ගණන් අධික ලෙස ඉහළ යාම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ 8.8%ක් තරම් ඉහළ නැග ඇති උද්ධමන අනුපාතයෙන් 6.4%ක්ම ආහාර ද්‍රව්‍යවල අධික මිල නිසා හටගෙන ඇත. උද්ධමන අනුපාතයට ආහාරමය නොවන අයිතමවල දායකත්වය 2.4% කි.

පොල් මිල අධික ලෙස ඉහළ නැඟීමෙන් ආහාර ද්‍රව්‍ය අංශයේ හටගෙන ඇති උද්ධමනයට 33%ක බලපෑමක් කර තිබේ. එසේම එම අංශයේම සහල් මිල ඉහළ යාමෙන් උද්ධමනයට 27%ක බලපෑමක් කර ඇත. හාල් පොල්වලට අමතරව එළවළු මිල ගණන් සෑහෙන පමණ ඉහළ යාම අධික උද්ධමනයට තවත් හේතුවකි.

මෙය මෑත ඉතිහාසයේ උද්ධමනය ගැන වාර්තා වූ සුවිශේෂී තත්ත්වයක් බව සඳහන් වෙයි.

පවත්නා ආර්ථික රීතිය අනුව යම් රටක උද්ධමන අනුපාතය ඉහළ යාමට සාපේක්ෂව රටේ පොලී අනුපාතය ද ඉහළ යයි. ඒ අනුව උද්ධමන අනුපාතයට ඒකක තුනක් පමණ ඉදිරියෙන් පොලී අනුපාතය සටහන් වෙයි.