2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

චන්ද්‍රිකා-නිමල් සිරිපාල ඇවිලෙති

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 615

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්ද පිල අතර සමගිය ඇති කිරීම සඳහා තීරණයක් ගැනීමට පැවැති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ දැඩි වාග් සටනක් ඇති වූ බව දේශයට වාර්තා වේ.

පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ සමය දැඩිව විවේචනය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙවර දෙපක්ෂය සමගි විය යුතු බව තරයේ ප්‍රකාශ කර ඇත. හිටපු ජනපතිනිය සමඟ වාග් සටන ආරම්භ වී ඇත්තේ ඒත් සමඟය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එ.ජා.ප.ය බවට හඳුනා ගතයුතු යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කිරීමත් සමඟ හිටපු ජනපතිනිය දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර ඇත්තේ යූ.ඇන්.පී.යට බණින බැණිල්ලට වඩා පොහොට්ටුව ගහන ගැහිල්ල ගැන බැලිය යුතු බවයි. එවිට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම පක්ෂයක මතගැටුම් ඇතිවන බවත් ඒ අය අපේම අය බවට හඳුනා ගතයුතු බවත්ය.

එහිදී හිටපු ජනපතිනිය මහින්ද පිලට දිගින් දිගටම දෝෂාරෝපණය කර තිබේ.