2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

බාධා නැති තැන්වල ඡන්දය තියන්න පක්ෂ නායකයෝ ඉල්ලති

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

දේශපාලන වාර්තාකරු l

අධිකරණ නියෝගයක් මත තාවකාලිකව නවතා ඇති පළාත් පාලන මැතිවරණය, නීතිමය බාධාවකින් තොරව පැවැත්විය හැකි ප්‍රාදේශීය සභා ඇත්නම් ඒවායේ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට සිකුරාදා (24) සවස පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත. 

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ, මෙම ඉල්ලීම දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසමෙන් කළ යුතු බව ය.

එසේම අභියාචනාධිකරණයේ දැනට පවතින නඩුවේදී මැතිවරණය පැවැත්වීමට අදාළව නීතිපතිවරයා හරහා කිසියම් නීතිමය මැදිහත්වීමක් කිරීමට ද තීරණය කර ඇත. ඒ සියල්ලටම අමතරව මෙම පළාත් පාලන සීමා නිර්ණය ගැසට් පත්‍රයට එරෙහිව නඩු පවරා ඇති පාර්ශ්වකරැවන් අතර එකඟතාවයක් ඇතිකිරීමට ද පක්ෂ නායක හමුවේදී තීරණය කර තිබේ. 

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයෝ සහභාගි වී අැත.