
I ගයාන් ගාල්ලගේ
වහා සමගි වී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන ලෙසට ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට බලකිරීම පිණිස ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක් එම නායකවරුන් හමුවීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණය වෙන වෙනම තරග කළහොත් දෙපක්ෂයටම හානි සිදුවිය හැකි බැවින් සමගිවීමේ වැදගත්කම හේතු සහිතව පෙන්වාදීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බවත් මේ සඳහා මූලිකත්වය ගෙන සිටින බව ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.
ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් 07 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මුලින්ම මේ ගැන සාකච්ඡා කිරීමට ඉදිරි සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට නියමිතය. අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙන බවද හෙතෙම සඳහන් කළේය.
පක්ෂය සමගි කිරීමේ වගකීම ඇත්තේ එහි තනතුරු දරන මැති ඇමැතිවරුන්ට නොව මෙකී පක්ෂ නායකයන් සතුව වන නිසා ඔවුන් මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කීය.
යම් හෙයකින් මෙම ඉල්ලීමට සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් තම කණ්ඩායමට දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.