2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පුංචි ඡන්දයට නඩු

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

 රිෂාඩ්ගේ පක්ෂය අලුත් සභා 4ක් ඉල්ලයි 

I සකීෆ් සාම් තන්වීරි

ප්‍රාදේශීය සභා සීමා නිර්ණයේදී නැගෙනහිර මුස්ලිම් ජනතාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇතැයි ඇමැති රිෂාඩ් බදුයුදීන් නායකත්වයෙන් යුත් සමස්ත ලංකා ජනතා කොංග්‍රසය රජයට චෝදනා කරයි. එබැවින් ත්‍රි.මලේ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට නව ප්‍රාදේශීය සභා හතරක් ලබා නොදුනහොත් සීමා නිර්ණයට එරෙහිව නඩු පැවරීමට එම පක්ෂය තීන්දු කර තිබේ.

සීමා නිර්ණයට එරෙහිව එසේ නඩු පැවරුවහොත් ජනවාරියේ පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණය නැවත වරක් කල්යෑමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමස්ත ලංකා ජනතා කොංග්‍රස පක්ෂයේ මෙම ඉල්ලීම සම්බන්ධව එම පක්ෂයේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරූෆ් මහතාගෙන් දේශය කළ විමසුමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා තඹලගමුව, මුතූර්, කුච්චවේලි හා කින්නියා ප්‍රාදේශීය සභාවලින් කොටස් වෙන්කර ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සඳහා මුල්ලිපතාන, තෝප්පූර්, සාම්පූර් හා කච්චකුඩිතිව් යනුවෙන් නව ප්‍රාදේශීය සභා හතරක් ස්ථාපිත කළ යුතු යැයි කීවේය. ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ ත්‍රි.මලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් සියයට 44ක් මුස්ලිම්වරු වන නමුත් මේ අයට ලැබී ඇත්තේ ප්‍රාදේශීය සභා 4ක් පමණක් බවය. ඒ නිසා සාධාරණය ඉටුවීමට තවත් සභා හතරක්වත් මුස්ලිම් ජනතාවට ලැබිය යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ඉල්ලීම අනුව මේ වනවිට නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවන් සභා පහක් වශයෙන් බෙදීමටත් තවත් සභා කිහිපයක් නගර සභා හා මහ නගර සභා වශයෙන් උසස් කිරීමටත් පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි.

ඡන්ද ගැසට් එක බදාදා

ෆයිසර් මුස්තාපා

ඡන්දය පැවැත්වීමට බාධාවක් ලෙස පැවති සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය මේ මස 31 පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් පසු නොවැම්බර් 01 වැනි බදාදා ගැසට් පත නිකුත් කරන බව පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ පොරොන්දු වූ පරිදි ජනවාරි මස අවසානයේ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00