2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

විස්සට සංශෝධන දෙකක්!

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

දේශපාලන වාර්තාකරු |

පළාත් සභා ගණනාවකදී පරාජයට පත්වුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය නව සංශෝධන දෙකක් සහිතව නැවත සියලු පළාත් සභාවලට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

එසේ අලුතින් පළාත් සභාවලට ඉදිරිපත් කිරීමට යන සංශෝධනයට නව වගන්ති කිහිපයක් එක්කොට අලුත් සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීම රජයේ සැලැසුමයි.

දේශයට වාර්තාවන ආකාරයට නව සංශෝධනයට අලුතෙන් වගන්ති දෙකක් ඇතුළත් කෙරේ. ඉන් පළමුවැන්න වනුයේ පළාත් සභා ඡන්ද 2018 වසරේ (ලබන වසරේ) මැද භාගයේ නිශ්චිත දිනයක පවත්වන බවට වන සංශෝධනයයි.

දෙවැනි වගන්තිය වන්නේ දැන් ක්‍රියාත්මක වන පළාත් සභාවල නිල කාලය ඒ ආකාරයටම දීර්ඝ කෙරෙන බවයි. 

නව යෝජනා දෙක අනුව මේ වසරේ නිල කාලය හමාරවන පළාත් සභා තුනේ ආයු කාලය තවත් වසරකින් පමණ දීර්ඝ වන අතර 2019 නිල කාලය හමාරවීමට නියමිත පළාත් සභා ගණනක ආයු කාලය වසරකින් පමණ අඩුවෙයි.

මෙම නව සංශෝධනය සහිතව පළාත් සභා වෙත ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළහොත් එය පහසුවෙන් සම්මත කරගත හැකි වෙතැයි රජය අපේක්ෂා කරයි. 

මේ සතියේ පෞද්ගලික හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී 2018 වසරේ මැද භාගයේදී සියලු පළාත් සභා ඡන්ද පැවැත්වීමට ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලැසිය හැකි බව දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තාවෙයි. 

නව සංශෝධනය සහිතව 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් වන තෙක් බස්නාහිර - සබරගමුව - වයඹ - නැගෙනහිර ආදි පළාත් සභා ගණනාවක ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීම් කල්දමා ඇත. ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුව අලුත් සංශෝධන ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පත කඩිනමින් සම්පාදනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.