2017 ජුලි 15 වන සෙනසුරාදා

දේශීය ආදායම් අලුත් පනතින් උතුරට ඩබල් සහන

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 ජූනි 16 දිනැති දේශීය ආදායම් පනත් කෙටුම්පත අනුව ව්‍යාපාර වත්කම්වලට ක්ෂයවීම් ප්‍රදානය කිරීමේදී උතුරු පළාතට සහ දිවයිනේ සෙසු පළාත්වලට දෙආකාරයකින් සහන දීමට යෝජනා වී තිබේ.

කෙටුම්පත අනුව තක්සේරු වර්ෂයක් තුළ උතුරු පළාතේ ව්‍යාපාරවල ක්ෂය වන වත්කම් මත මුළු වාර්ෂික වියදම අමෙරිකානු ඩොලර් මිලියන 3 සහ 5 අතර පවතින විට එම ව්‍යාපාර සඳහා සියයට 200ක ක්ෂය දීමනාවක් හිමිවේ. මෙහිදී අවම වශයෙන් නව සේවකයන් 250ක් සේවයේ යොදවා සිටිය යුතුය.

එසේ වුවද උතුරු පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල ව්‍යාපාර සඳහා මෙම ක්ෂය දීමනාව වත්කම්වලින් සියයට 100ක් වන අතර ඒ සඳහා නව සේවකයන් 350ක් වියයුතු යැයිද නියම කර ඇත.

තවද උතුරු පළාත තුළ මුළු වියදම අමෙරිකානු ඩොලර් 5 සිට 50 දක්වා වන ව්‍යාපාරවල නව සේවකයන් 350ක් සේවයේ යොදවන්නේ නම් තක්සේරු වර්ෂය තුළ සියයට 200ක ක්ෂය දීමනාවකට හිමිකම් ලබයි.

එහෙත් සෙසු පළාත්වලදී මෙම තත්ත්වයද වෙනස් වන අතර ව්‍යාපාරයේ මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවූ විට පමණක් සියයට 100ක ක්ෂය දීමනාවක් හිමිවෙන බව පනත් කෙටුම්පතේ දැක්වේ.

ව්‍යාපාරවලට ක්ෂය දීමනා පිරිනමන විට උතුරු පළාතට සියයට 200ක් දෙන අතර දිවයිනේ සෙසු පළාත්වලට ඉන් අඩක් හෙවත් සියයට 100ක් හිමිවීමද සේවක සංඛ්‍යාව පිළිබඳ විශේෂ සහන සැලසීමද තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1, 12-2 වගන්තිවලින් පොදුවේ ජනතාවට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි බදු ගෙවන පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කර ඇත.

I යසවර්ධන රුද්‍රිගු