ගයාන් ගාල්ලගේ I
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, බැකෝ සමන්, පානදුර නිලංග සහ තැඹිලි ළහිරු යන අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉන්දුනීසියාවේදී මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු බව වාර්තා වේ.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ජයසුන්දර යන දෙදෙනා විසිනි. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේ ජයසුන්දර නිලධාරියා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ රාජකාරි කර ඇති අතර, මෙහෙයුම සිදුවන අතරවාරයේ උසස්වීම් ලබා ඇත.
මෙම නිලධාරීන් දෙදෙනා සහ ඉන්දුනීසියාවේ රහස් පොලිසියේ නිලධාරීන් 10 දෙනකු විසින් මෙහෙයුම සිදුකර අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අපරාධකරුවන් පස්දෙනාම පැන යමින් සිටින අවස්ථාවේදීය.
අදාළ සැකකරුවන් අතරින් කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ද හට ගම්පහ අධිකරණය ඉදිරිපිට පස් පොඩ්ඩා ඝාතනය, කොළඹ අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය, එසේම ගම්පහ ඔස්මන් ඝාතනයට තැත් කිරීම, හරක් කටා ඝාතනයට තැත් කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනා එල්ල වී ඇත. එසේම බැකෝ සමන් නමැත්තාට මිද්දෙණියේදී කජ්ජා සහ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී ඇත. පානදුර නිලංග හට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබේ. මෙම සැකකරුවෝ පසුගිය සිකුරාදා (29) මෙරටට ගෙන එනු ලැබූහ.