2017 ජුලි 01 වන සෙනසුරාදා

විග්නේෂ්වරන්ගෙන් යළිත් බාල්දියක්!

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50


දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප කර මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් විසින් තෝරාගන්නා ලද අමාත්‍යවරුන් දෙදෙනකු පළාත් සභා අමාත්‍ය ධුරවලට පත්කිරීම නිසා උතුරේ නැවතත් දේශපාලන බල අරගලයක් ඇතිවෙමින් පවත්නා බව දේශයට වාර්තා වෙයි.නව අමාත්‍ය පදවි හිමිවී ඇත්තේ උතුරේ යුද්ධයේදී මියගිය කොටි ප්‍රාදේශීය නායක එලීලන්ගේ වැන්දඹු බිරිය වූ ආනන්දි ශෂිදරන් හා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සොහොයුරා වන කේ. සර්වේෂ්වරන්ය.

මෙම තෝරාගැනීමට පෙර පළාත් සභා මන්ත්‍රී එම්.මැනුවෙල් ආර්නෝල්ඩ් මහතා අමාත්‍ය ධුරයකට පත්කළ යුතු බව දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහ ඇමැතිවරයාට ලිඛිතවම දන්වා තිබිණි. මෙම දැනුම්දීම සිදුකළ සම්පන්දන් මහතා ජර්මන් නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටියදී ඔහුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කළ මහඇමැතිවරයා නව පත්වීම් සිදුකළේය.

මෙය උතුරේ ප්‍රබල දේශපාලන බල අරගලයක ආරම්භය බව පවසන උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහ ඇමැති විග්නේෂ්වරන් ඉදිරියේදී දෙමළ සන්ධානයෙන් ඉවත්ව නව දේශපාලන පක්ෂයක් බිහිකර මීළඟ පළාත් සභා ඡන්දයට තරග කරනු ඇති බවය.

I දේශපාලන වාර්තාකරු