2017 ජුලි 01 වන සෙනසුරාදා

අස්ගිරි මහා විහාරයෙන් විශේෂ සඟ සමුළුවක්

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66


අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ මූලිකත්වයෙන් විශේෂ සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇතැයිදැනගන්නට තිබේ. රටපුරා ප්‍රධාන විහාරස්ථාන වල නායක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මෙම සඟ සමුළුවේ සංවිධාන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරස්ථාන හා පුරාවස්තුන්ට හානි සිදුකිරීම, රට තුළ සිදුවන බෞද්ධ විරෝධී ක්‍රියා, මහ සඟරුවනට එරෙහි අපහාස කිරීම්, ජාති ආගම් භේද ඇති කරන අන්තවාදී පිරිස් වල ප්‍රකාශ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණය මගින් ඉපැරණි රජමහා විහාර වලට එරෙහිව සිදුකරන අසත්‍ය ප්‍රචාර, අන්තවාදී දේශපාලනඥන්ගේ කතා ඇතුළු ඊට සමගාමී වෙනත් කරුණු පදනම් කරගනිමින් මෙම සඟ සමුළුව අස්ගිරි මහා විහාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සඟ සමුළුවේදී ගනු ලබන තීරණ රජය වෙත දන්වා යැවීමට කටයුතු යොදනු ඇතැයි අස්ගිරි මහාවිහාර කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ නාහිමි නමක් පැවැසූහ.

| ජේ.ඒ.එල්. ජයසිංහ