2025 ජුලි 05 වන සෙනසුරාදා

අර්ජුනගේ නම දෝනි ඉල්ලයි! බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 245

දේශපාලන වාර්තාකරු I

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි සඳහන්ය.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.
දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.