ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
පසුගියදා විදුලිය ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීම හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ ප්‍රකාශ කරති. විදුලිය ගාස්තු වැඩිවීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් දැනට ශ්‍රී ලංකාවේ තරගකරුවන් වන ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල් සමඟ තරග කිරීම අපහසු වනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය අඩාල වුවහොත්, තේ කර්මාන්තයෙන් ඍජුව යැපෙන ලක්ෂ 20 ක පමණ පිරිසකට දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර පසුගියදා ඇවිල ගිය ඉරාන ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් තුන්වැනියට වැඩිම තේ ප්‍රමාණයක් මිලට ගන්නා රටක් වන ඉරානයට තේ අපනයනය කිරීම අඩාල වීමෙන් තේ අපනයනකරුවන්ද දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි කොළඹ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා දේශයට ප්‍රකාශ කළේය. ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ මේ වන විට ඉරානයට අපනයනය කර ඇති තේ සඳහා ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක් ලබා ගැනීමට නොහැකි වීමය. ඉදිරි කාලයේ ඉරානයෙන් තේ සඳහා ඇණවුම් ලැබුණද කලින් අපනයනය කළ තේ සඳහා මුදල් නොලැබීම හේතුවෙන් ඉරානයට තේ අපනයනය නතර කිරීමට සිදුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
ඉරානයට අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කරන මිල අධික විශේෂ තේ වර්ග අලෙවි කරගත නොහැකි වීමෙන් තේ කර්මාන්තකරුවන්ට ද දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවත්, අපනයනය කළ නොහැකි වීමෙන් තේ මිල විශාල ලෙස පහත වැටීමට ඉඩ ඇති බවත්, ඉන් මෙරට තේ කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය. තමන් මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද ජයන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.