2017 ජුනි 24 වන සෙනසුරාදා

ව්‍යවස්ථා කමිටුවට නිවාඩු

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46


නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවමත් ස්ථීර එකඟතාවයක් නොමැති වීම නිසා එම පක්ෂ එකඟතාවයකට පැමිණෙන තෙක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක කමිටුව දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි දේශයට වාර්තාවේ.

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගිය අඟහරැවාදා පාර්ලිමේන්තුව තුළදී පක්ෂවල ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ අතර විශේෂයෙන් ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස ඉදිරිපත් කර ඇත. මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ තවමත් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේත් එජාපයේත් එකඟතාවක් නොමැති වීම නිසා ඒ පිළිබඳව පක්ෂ දෙක අතර සාකච්ඡාවක් සිදුකළ යුතුය කියායි. ඉන් අනතුරැව අවසන් එකඟතාවයකට පැමිණිය හැකි බවද දන්වා තිබේ.

මේ අවස්ථාවේදී එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයටද ආරාධනා කර ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එජාපයත්, දෙමළ සන්ධානයත් ජනමත විචාරණයකට යායුතු බවට යෝජනා කර ඇති අතර එයට ශ්‍රීලනිපයද යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව වාර්තා වේ.

I ගයාන් ගාල්ලගේ