
අරණායක ප්‍රදේශයේ අසරණ වූ ජනතාව වර්තමානයේ විඳින දුක් කම්කටොලු පිළිබඳ තමන් රටට හෙළිකිරීම නිසා ඊට උරණ වූ යහපාලන ඇමැතිවරුන් එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පසුපස පන්නමින් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දේශයට පැවසීය.
තමන් සිදුකළ සංචාරයේදී තමන්ට අසරණ වූ ජනතාව සිටින ස්ථාන පෙන්වූ රාජ්‍ය නිලධාරීන්ට යහපාලන මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ තර්ජනය කරන්නට පටන්ගෙන ඇති බවත් යහපාලන ආණ්ඩුවේ වචන කීපයකට සීමා වූ ගෞරවනීය, නිදහස් රාජ්‍ය සේවය මෙය විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අරණායක ප්‍රදේශයේ කඳවුරු තවත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. මදුරුවන් හැමතැනම. ඩෙංගු රට පුරා ඇති නිසා ඒ මිනිස්සු ඉන්නේ මරණ බයෙන්. ඒ මිනිස්සුන් ඉන්න තැන් තමයි අර රාජ්‍ය නිලධාරීන් මට පෙන්නුවේ. ඔවුන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නිවැරදි තොරතුරු ලබාදීම. අන්න ඒකට උරණ වෙච්ච පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා කියනවා ඒ අයව මාරුකරන්න ඕන කියලා. ඇයි මේ අපෙන් ගන්න බැරි පළිය මේ අහිංසක රාජ්‍ය නිලධාරීන්ගෙන් ගන්නේ. ඒ නිසා අපි කියන්නේ වැඩ කරන්න බැරිවුණාම තරහා යවා ගන්න අහිංසක මිනිස්සු අල්ලගන්න එපා. ගිහින් අර මිනිස්සුන්ට නැඟිටින්න උදව් කරන්න කියලා යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ චෝදනාව එල්ලවූ හිටපු අමාත්‍ය ලලිත් දිසානායක මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවය.
මම එවැනි ප්‍රකාශයක් කළේ නෑ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. මම කිව්වේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රාජ්‍ය නිලධාරීන් ඉවත් විය යුතුයි කියලා. මොකද රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න තමයි රාජ්‍ය නිලධාරීන් ඉන්නේ. එහෙම නැතුව මට පුළුවන්කමක් නෑ රාජ්‍ය නිලධාරීන් ඉවත් කරන්න. මම නාමල් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශ විවේචනයට ලක් කළා. ඒ වෙනම. නමුත් ප්‍රවෘත්තිය පළවෙලා තියෙන්නෙ නාමල් මන්ත්‍රීතුමා සමඟ වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරීන් එළවන්න ඕන කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක් යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
l ගයාන් ගාල්ලගේ