2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පාන් ගෙඩියක් 170ට නගී?

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:01 112

යසවර්ධන රුද්රිගූ  I

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු බවට රජය පසුගිය සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම නිසා එම බරුති පාන් ගෙඩියක මිල රුපියල් 170 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.

රටේ පාන් නිෂ්පාදකයන් තුන් කොටසක් සිටින බව පවසන සභාපතිවරයා එක් කණ්ඩායමක් සුළු වශයෙන් පාන් තනා තමන් විසින්ම අලෙවි කරනු ලබන අතර ඔවුන්ට අද පවතින රුපියල් 140 මිලට වඩා අඩුවෙන් වුවද ග්‍රෑම් 450 පාන් ගෙඩියක් අලෙවි කළ හැකි බව පෙන්වා දුන්නේය. අනිත් කොටස වනුයේ මධ්‍යම ප්‍රමාණ වශයෙන් පාන් නිෂ්පාදනය කර වෙළෙඳුන් මාර්ගයෙන් කොමිස් පිට අලෙවි කරන අයයි. විශාල ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කර අලෙවි කරති. මේ දෙකොටසටම පාන් ගෙඩියක් සඳහා රුපියල් 30ක පමණ කොමිස් මුදලක් ගෙවන්නට සිදුවේ. එසේම පාන්වලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ද ඉහළ ගොස් ඇත. මේ නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් මෙම කාණ්ඩ දෙකටම අලෙවි කරන්නට සිදුවන්නේ රුපියල් 160 – 170 වැනි මිලකටය. මේ නිසා සුළු වශයෙන් නිෂ්පාදනය කරන්නන්ද එම මිලට පාන් අලෙවි කිරීම නොවැළැක්විය හැකි බව හෙතෙම සඳහන් කළේය.

සභාපතිවරයා පවසන්නේ නියම බරට පාන් තනන ලෙස තම සාමාජිකයන්ට උපදෙස් දිය හැකි නමුත් උපරිම මිලක් නියම කිරීමට තමාට නොහැකි බවය. රජය ද උපරිම මිලක් සඳහන් කර නොමැතිවීම නිසා මිල තීරණය කිරීමේ බලය ද ඇත්තේ නිෂ්පාදකයාටය.