2017 ජුනි 10 වන සෙනසුරාදා

මුදල් අමාත්‍යංශය විගණනයට දුන් ණය තොරතුරු වැරදියි (විගණාකාධිපති)

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

I යසවර්ධන රුද්රිගු

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂය පිළිබඳ රජය ඉදිරිපත් කර ඇති මූල්‍ය වාර්තාවේ ණය පිළිබඳ දත්තයන් අඩුවෙන් සඳහන් කර ඇති බව අනාවරණය වූ අතර එය හා තවත් හේතු නිසා එම වාර්තාව පිළිබඳ මතයක් ඉදිරිපත් කළ නොහැකි බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ 2017 මැයි 31 දින ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සඳහන් කර ඇත. ඔහු පවසන්නේ රජයේ වත්කම් සහ බැරකම් පිළිබඳ ගිණුම් නිවැරදි බව සනාථ කිරීමට අවශ්‍ය ඇතැම් විස්තර ඉදිරිපත් කිරීමට අදාළ අංශ අපොහොසත් වූ බවය. එසේම එහි දක්වා ඇති සමහර තොරතුරැ අසම්පූර්ණ බව සනාථ වූයේ යැයි ඔහු කියයි.

2016 දෙසැම්බර් 31 දින වනවිට ගෙවිය යුතු ණය රුපියල් මිලියන 8,793,959ක් බව මූල්‍ය ප්‍රකාශනයේ සඳහන් වුවද, එයට තවත් රුපියල් මිලියන 826,091ක් එකතු විය යුතු බව තමාගේ නිරීක්ෂණවලින් හෙළිවූයේ යැයි ඔහු සඳහන් කර ඇත.

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 487,061 හා ප්‍රධාන පෙළේ විදේශීය සමාගම්වලින් ගිවිසුම් හතක් යටතේ ලබාගත් ණය සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 332,305 මුදලද ඇතුළත් වී නොමැති බව අනාවරණය කර තිබේ.

එසේම ආරක්ෂක අමාත්‍යංශය විසින් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක් තැනීමට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හතරකින් ලබාගෙන ඇති රුපියල් මිලියන 7550ක් වූ ණය මුදලද අඩංගු කර නොමැති අතර, විදේශ ණය පිළිබඳ අවසාන ශේෂයේ ණය ගිවිසුම් අටක රුපියල් මිලියන 1505ක වෙනසක්ද විගණනයේදී අනාවරණය වූ බව විගණකාධිපති කියයි.

මේ පිළිබඳ වැඩිදුරටත් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ සංඛ්‍යාලේඛනවල විශාල පරස්පර තිබෙන අතර, රාජ්‍ය ගිණුම් පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවට විගණකාධිපති වාර්තා කළ මුල් අවස්ථාව මෙය වන බවයි. තමාට විගණන කටයුතුවලදී මුදල් අමාත්‍යංශයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණු බවද ඔහු පැවසුවේය