2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රොෂාන්ගේ ක්‍රීඩා ඇමැතිකම එස්.බීට?

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 500

දේශපාලන වාර්තාකරු I

ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි දේශයට වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය හමාරවීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට අදාළ අංශ මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව දැනගන්නට තිබේ.

දැනට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූරය දරන රොෂාන් රණසිංහ මහතාගෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කොට එය එස්.බී. දිසානායක මහතාට පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් ඔහුට අයත් වාරිමාර්ග අමාත්‍ය ධූරයෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි සඳහන්ය. අලුතෙන් ක්‍රීඩා අමාත්‍ය ධූරය සඳහා යෝජනා වී සිටින එස්.බී. දිසානායක මහතාද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හටගත් වංචා දූෂණවලට එරෙහිව මැතිසබයට පැමිණිලි කළ අතර ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය. ඒ සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අන්තර් පාලන කමිටුවක්ද පත් කරනු ලැබීය. එහෙත් අධිකරණ නියෝගයක් අනුව එම පාලන මණ්ඩලයට එරෙහිව අතුරු තහනමක් පැනවිණි. ඒ සමඟ මේ සිද්ධිය නීතිමය අර්බුදයක් බවට පත් විය. මෙම සිද්ධි දාමයත් සමඟ අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජනාධිපති කාර්යාල බලධරයන් අතර අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය. ඔහුගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය වෙනස් කෙරෙනු ඇත්තේ එම අර්බුදය මෝරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස බවද වාර්තා වෙයි.

 

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01