
දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතින පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමට මහා නායක හිමිවරුන් විසින් සකස් කරන ලද විශේෂ සංදේශයක් ඉතා කඩිනමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු පැවසූහ. මහා නායක හිමිවරුන් මේ බව ප්‍රකාශ කළේ උන්වහන්සේලා බැහැදැකීමට පැමිණි සමස්ත ලංකා පළාත් පාලන සභික නියෝජිත (හිටපු) සංසදයේ නිලධාරීන් හා සාමාජිකයන් සමඟ පැවති හමුවකදීය.
හිටපු පළාත් පාලන සභික නියෝජිතයන්ගේ සංගමයේ සභාපති උදේනි අතුකෝරළ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස උන්වහන්සේලා හමුවී වසර දෙකක් තිස්සේ කල් දමමින් පවතින පළාත් පාලන මැතිවරණය පවත්වා ලංකාවේ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් පත් නොකිරීම නිසා රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන විවිධ දුෂ්කරතා සහ ගැටලු සම්බන්ධව මහා නායක හිමිවරුන් දෙපළ දැනුම්වත් කළෝය.
පළාත් පාලන ආයතන වලින් මහජනතාව උදෙසා සිදුකෙරෙන පොදු සේවාවන් රැසක් අඩපණ වී මන්දගාමී ස්වරූපයෙන් පවතින නිසා, හදිසි ගංවතුර විපත්, නායයෑම් ආපදා වැනි ව්‍යසනයන් ඇති වූ අවස්ථාවන්හිදී ජනතාව දැඩි පීඩාවට පත්වන බවද ඔවුහු පැවසූහ.
I ජේ.ඒ.එල්. ජයසිංහ