2022 ජුලි 24 වන ඉරිදා

පක්ෂ මාරු රැසක් සමඟ දෙසතියකින් සර්ව පාක්ෂික ආණ්ඩුවක්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 435

දේශපාලන වාර්තාකරු l

පක්ෂ මාරු රැසක් සමඟ තවත් දෙසතියකින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

වත්මන් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් 18ක් නියෝජනය කරන මැති ඇමැතිහු සිටිති. එයින් පක්ෂ සහ කණ්ඩායම් 14ක පමණ සහාය පසුගිය ජනාධිපති ඡන්දයේදී වත්මන් ජනාධිපතිවරයාට හිමිවූ බව නිල නොවන ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම පක්ෂ සහ කණ්ඩායම් සියල්ලම සහභාගි කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට සැලසුම් සකස් වෙමින් ඇති අතර මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් 7 දෙනකුට වැඩි පිරිසක් නව ආණ්ඩුවේ තනතුරු සඳහා නම් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

නව රජයේ ප්‍රධානම හවුල්කරු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර බහුතර අමාත්‍ය ධුර සංඛ්‍යාව ද පොහොට්ටුවට හිමිවනු ඇත. පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් 101ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ඡන්දයේදී සහාය පළ කර ඇතැයි එම පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

මේ හැර ශ්‍රීලනිපයේ කොටසක් ද, මහජන එක්සත් පෙරමුණ, ඊපීඩීපිය, එජාපය පිල්ලෙයන් කණ්ඩායම, තොණ්ඩමන් කණ්ඩායම, විග්නේෂ්වරන් කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්, අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පිරිසක්, ස්වාධීන මන්ත්‍රීන් කණ්ඩායමේ (පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසගෙන්) කොටසක් ද නව රජය සඳහා සහය පළ කරමින් තනතුරු භාරගන්නා බව දැනගන්නට ඇත.

ඉදිරියේදී අලුතෙන් පත්කෙරෙන සර්ව පාක්ෂික රජයට කැබිනට් අමාත්‍ය ධුර ගණන 30ක් වන අතර රාජ්‍ය අමාත්‍ය ධුර ගණන 30ත් 35ත් අතර වනු ඇතැයි වාර්තා වෙයි.