2022 මාර්තු 06 වන ඉරිදා

බේකරි දාහක් හාන්සියි

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 59

I යසවර්ධන රුද්රිගූ

මේ වනවිට රටේ ඇති බේකරි 7000න් බේකරි 1000ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන දේශයට පැවසීය. එසේම ඉතිරි බේකරිවල ක්‍රියාකාරීත්වය අඩක් බවට පත්වී ඇතැයි හෙතෙම කීවේය. ඒවා නිෂ්පාදන කටයුතුවල නියැලෙන්නේ සතියකට දින 3 - 4 පමණ බවද ඔහු පවසයි.

බේකරි කර්මාන්තය අඩපණ වීමට තිරිඟු පිටි හිඟයට අමතරව අද පවතින විදුලිය විසන්ධි වීමද, ඉන්ධන හිඟයද බලපාන බව ඔහු කියයි. විදුලිය කැපූ අවස්ථාවල ජෙනරේටර් භාවිත කිරීම සඳහා ඉන්ධන නොමැතිවීම ගැටලුවක් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වෙළෙඳපොළේ මෙයට මාස දෙක තුනකට පෙර රුපියල් 5830/-කට අලෙවි කළ කිලෝග්‍රෑම් 50 තිරිඟු පිටි මිටිය මේ වනවිට රුපියල් 6500/-ක් පමණ දක්වා ඉහළ නැග ඇති අතර ඒ අනුව රුපියල් 84.50/-ට මිලට ගත් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 130/-ක් තරමට වැඩි වී තිබේ. මේ හැර පාම් ඔයිල්, පොල්තෙල්, මාගරින් ආදී නිෂ්පදන අමුද්‍රව්‍යවල මිල සියයට සියයකින් වැඩි වී තිබේ. එසේම බිත්තරයක මිල රුපියල් 25/- දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට වාහන නොමැතිවීම නිසා තැනූ නිෂ්පාදන අලෙවි කර ගැනීමටද අපහසුව තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි.

බේකරි ක්ෂේත්‍රයේ ඍජු සහ වක්‍ර වශයෙන් රැකියා කරන්නන් ලක්ෂ පහක පමණ වෙති. නිෂ්පාදන කටයුතු අඩාලවීම නිසා මේ අයගේ ජීවිත ගෙන යාම අසීරු වී තිබේ.