2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න 05ක් ගැන කමිටුවක්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

මේ දිනවල පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා 1 ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්න පහක් තිබූ බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක් වෙත යොමුකර ඇතැයි විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දේශයට පැවසීය.

2021 ආර්ථික විද්‍යා 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් අංක 33, 34, 37, 49 සහ 50 යන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු නොමැති බවට වන පුවතක් සම්බන්ධයෙන් අප විභාග කොමසාරිස්වරයාගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කිසිවකු විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ලිපියක් යවා ඇති බවත්, තමන්ද එය දැනගත්තේ මාධ්‍යයෙන් කළ විමසීමකින් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වනවිට ගුරැවරැන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම විමර්ශනයෙන් පසු ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ හැකි බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.