නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය දිනක පැමිණි කොළඹ හතේ සුප්‍රකට සංස්ථාවක අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් එහි පිහිටි පිරිසුදු පොල්තෙල් අලෙවියට නම් දරා ඇති වෙළෙඳසලට ගොඩවිය. තරමක් මවාගත් හඬකින් මුදලාලි ඇමතූ ඔහු ලීටර් පහේ පොල්තෙල් කෑන් එකක් ඉල්ලුවේය. තෙල් කෑන් එක ලැබිණි. මුදලාලි ගාණ ද කිව්වේය.
එම වෙළෙඳසල පිරිසුදු පොල්තෙල් අලෙවියට නම් දරන අතර තොග මිලට සිදුවන වෙළෙඳාම නිසා මිල ගණන්ද සාධාරණය. එහෙත් මෙම නිලධාරියා එම මුදල ගෙවීමට සූදානම් නොවීය. එම පොල්තෙල්වලට ඔහු ලොකු වට්ටමක් ඉල්ලුවේය. එහෙත් මුදලාලි එය ප්‍රතික්ෂේප කළේ තොග මිලට ලබාදෙන තෙල් කෑන් එකේ මිල තවදුරටත් අඩුකිරීම අතින් පාඩු විඳීමක් බව කියමිනි. තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ වහාම ඔහුට මල පැන්නේය. ඒ සමඟ ඇතිවූ දෙබස මෙසේ විය.
තමුන් දන්නවද මම කවුද කියලා?
මට මහත්තයා කවුරු වුණත් කමක් නැහැ. මම තෙල් වෙළෙන්දා. මහත්තයා පාරිභෝගිකයා. ඒකනෙ කතාව.
හහ්.. තමුන් එහෙමද හිතන් ඉන්නෙ. මම තමයි... සංස්ථාවේ (නම කියයි.) අධ්‍යක්ෂ ජනරාල්. තමුන් මෙහෙම නම් වැඩ කරන්නේ මම තමුන්ට හොඳ ප්‍රචාරයක් දෙන්නම්. බලාගෙන ඉන්නවා...
මේ දෙබසින් පසු නිලධාරියා මුදලාලි කියූ ගාණ නොව තමන්ට අවශ්‍ය වූ මිල ගෙවා බලෙන්ම වාගේ තෙල් කෑන් එක රැගෙන ගියේය.
කෙසේ වුවද කට පියාගෙන තම ගනුදෙනුව අවසන් කළ පොල්තෙල් මුදලාලි තමන්ගෙන් හැමවිටම පොල්තෙල් මිලදී ගන්නා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයන් කිහිප දෙනකුටම මේ කතාව කිව්වේ තමන්ගේ සාධාරණ වෙළෙඳාම පිළිබඳව ඔවුන් දැන සිටින බැවිනි.
මේ බලවත් කිහිප දෙනා සිද්ධිය පිළිබඳව ''අධ්‍යක්ෂ ජනරාල්ගෙ''න් විමසූ විට ඔහු දහ අතේ දිව්රමින් තමන් එසේ නොකළ බව දැඩිව ප්‍රකාශ කර තිබිණි. එහෙත් සිදු කළ සොයා බැලීම්වලදී මුදලාලි පවසන්නේ සත්‍යයක් බව මේ බලවතුන් විසින් හෙළි කරගෙන තිබිණි. මේ සිද්ධියෙන් දවස් කිහිපයකට පසුව ''ස්ත්‍රී පරාණයක්'' සම්බන්ධ ලජ්ජා සහගත සිද්ධියකටද මේ නිලධාරියා පැටළුණේය. පොල්තෙල් කතාවත් එක්ක මේ සිද්ධියත් රජයේ ඉහළම කාර්යාලයට වාර්තා වීම හේතුවෙන් මේ ''පොල්තෙල් ජනරාල්''ට වහාම නිවෙස බලා ගමනේ යන්නැයි අණ ලැබිණි. තමන් දැරූ තනතුර අතහැර දැමීමට සිදුවීමෙන් ඇතිවූ කම්පනය නිසා ඔහුට කඳුළු හැලුණු බවද වාර්තා විය.
ඔහුට එම බලවත් ''අධ්‍යක්ෂ ජනරාල්'' පදවිය අහිමි වුවද තවමත් රජයේ එක්තරා වැදගත් කොමිසමක අධිපති ධුරය දරමින් තවමත් වැජඹෙන බවද දැනගන්නට තිබේ. එසේ සිටින අතරේ තමන්ගේ ''පෙර වැරදි'' හේතුවෙන් අලුත්කඩේ පැත්තේ වරින් වර යාමට සිදුව තිබෙන බවද කියති.