I යසවර්ධන රුද්රිගු
රටේ ආනයනික කිරිපිටිවල හිඟයක් නිර්මාණය වී ඇත්තේ බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් දේශයට පැවසීය. මෙයට හේතුව බැංකුවල ඩොලර් නොමැති වීමය.
ඔහු අවධාරණය කළේ ණයවර ලිපි නිකුත් කළහොත් සති තුනකදී කිරිපිටි ආනයනය කර හිඟය නැති කිරීමට ආනයනකරුවන්ට හැකි බවය. මේ පිළිබඳ විසඳුම ඇත්තේ රජය සතුව මිස තමන් ළඟ නොවේ යැයි ඔහු කීවේය.
වරායේ කිරිපිටි නැව් හිර වී නොමැති අතර වරායට කිරිපිටි රැගෙන එන නැව් ඉක්මණින් නිදහස් කිරීමට පුළුවන් බවද ඔහු පැවසුවේය. දැනට මාස තුනක සිට දිවයිනේ ප්‍රබල කිරිපිටි හිඟයක් උද්ගතව ඇත.
කිරිපිටි ආනයන සමාගම් 7ක් පමණ මෙරටට කිරිපිටි ගෙන්වන නමුත් අද උද්ගතව ඇති තත්ත්වය අනුව ඒ කිසිදු සමාගමකට කිරිපිටි ආනයනය කළ නොහැකි බවට පත්ව ඇතැයි ඔහු කීවේය. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවලින් කිරිපිටි ආනයනය කරන නමුත් ඔවුන් අපටම කිරිපිටි දීමට බැඳී නොමැති අතර තම නිෂ්පාදන වෙනත් රටවලට අලෙවි කිරීමට පෙළඹී තිබෙන අතර ණයවර ලිපි නිකුත් කර ගැනීමට හැකි වුවද අප රටට අහිමි වී ඇති වෙළෙඳපොළ සකස් කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවද කීවේය. ගැටලුව පිළිබඳ රජය සමඟ සාකච්ඡා පවත්වන නමුත් තවම විසඳුමක් ලැබී නැත.