2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ගෑස් පිපිරීමේ තවත් රහසක්!

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

I ව්‍යාපාරික වාර්තාකරු

දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 85,000ක් (අසූපන්දහසක්) පමණ පුරවනු ලබන ලිට්‍රෝ සමාගම සිලින්ඩරවලට ගෑස් පිරවීමෙන් පසු එම සිලින්ඩර සියල්ල විශේෂ ජල පරීක්ෂණයකට යොමුකළ යුතු අතර එම පරීක්ෂණය සිදුකරන්නේ ජලය උපයෝගී කරගෙන ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වනවාදැයි පරීක්ෂා කිරීමටය.

එහෙත් මෑත කාලයේ එම ජල පරීක්ෂණ ක්‍රමවේදය අනුගමනය නොකර පුරවන ලද ගෑස් සිලින්ඩර කෙලින්ම වෙළෙඳපොළට නිකුත් කිරීමද ලිට්‍රෝ ගෑස් අර්බුදයට හේතුවක් බව එම සමාගමේ නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

තම අත්දැකීම අනුව දෛනිකව පුරවනු ලබන ගෑස් සිලින්ඩර්වලින් 5%ක පමණ ගෑස් කාන්දුවක් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජල පරීක්ෂණය මගින් එම සිලින්ඩර හඳුනාගෙන ඒවා අලුතින් පුරවා වරද නිවැරදි කොට සීල්කර නැවත පරීක්ෂාවකින් පසුව වෙළෙඳපොළට නිකුත් කිරීම මෙයට පෙර සිදුකැරිණි. එහෙත් කවර හේතුවක් නිසා හෝ ජල පරීක්ෂණය මගින් සිලින්ඩර නැවත පරීක්ෂා නොකර ගෑස් කාන්දුවන සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කර ඇත. ගෑස් ලිප් පුපුරා යාමට එවැනි සිලින්ඩර භාවිතය ප්‍රධාන හේතුවක් බවද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.