2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සීනි කන්ටේනර් 800ක් වරායේ හිරවෙලා

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 114

I යසවර්ධන රුද්රිගු

දැනට වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1500 අතර සීනි අඩංගු කන්ටේනර් 800කට අධික ප්‍රමාණයක් ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර දේශයට පැවසීය.

උත්සව සමයේ සීනි පරිභෝජනය අධික වී ඉල්ලුම ඉහළ යාම නිසා තව කාලයක් මෙම කන්ටේනර් වෙළෙඳපොළට නිදහස් නොකළහොත් රටේ සීනි හිඟයක් ඇතිවිය හැකිවා මෙන්ම සීනි මිල තවදුරටත් ඉහළ නැගිය හැකි බවද ඔහු අවධාරණය කළේය.

දැනට වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් පාවිච්චි කරන්නේ බොහෝදුරට ඉක්මණින් නරක් විය හැකි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා ගැනීමට බවද ඔහු කීවේය.

සීනිවලට අතිරේකව සහල්, පරිප්පු, කඩල, මිරිස්, වටානා, සව්හාල්, සුදු ලූනු, මහදුරු, සූදුරු, ග්‍රීන් පීස්, කරවල ආදියද මෙම කන්ටේනර්වල ඇති අතර ඒවා අතරින් ඉක්මණින් නරක් වන ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට ප්‍රමුඛත්වය දෙන අතර සීනි බොහෝ කාලයක් නරක් නොවී තබාගත හැකි ආහාර ද්‍රව්‍යයක් බවද ඔහු කීය.

පසුගිය දිනවල නරක් වූ සීනි වෙනත් උරවලට බහා අලෙවි කිරීමට දැරූ උත්සාහයක් පිළිබඳ ජනමාධ්‍යවලින් අනාවරණය වූ නමුත් එම සීනි 2019 ඔක්තෝබර් 13 දින ආනයන බදු රුපියල් 50 සිට ශත 25ට බැස්සූ අවස්ථාවේ ආනයනය කළ සීනි වන අතර, ඒවා මේ ළඟකදී ගෙනා තොග නොවන බවද ඔහු කීවේය. එම වංචාවට සීනි ආනයනකරුවන් සම්බන්ධ නොවූ අතර අතරමැදියන් එම ජාවාරම කළ බවද හෙතෙම පැවසීය.