ඡන්දෙ දෙන්න හය දෙනෙක් නැහැ
I සංජීවිකා සමරතුංග
මේ සතියේ පාර්ලිමේන්තුවේ අඟහරුවාදා පැවැති විශේෂ මුදල් පනත් කෙටුම්පත සම්බන්ධ ඡන්දය විමසීමේදී ඊට පෙර දා මැතිසබයේදී හදිසි නීති රෙගුලාසි අනුමත කර ගැනීම සඳහා ඡන්දය දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් හය දෙනකු ඡන්දය සඳහා පැමිණ නැත. මේ අය වන්නේ චාමර සම්පත්, එස්. රමේෂ්වරන්, උද්දික ප්‍රේමරත්න, ටිරාන් අලස්, නිමල් පියතිස්ස සහ ශාන් විජේලාල් යන මන්ත්‍රීවරුන්ය. ඔවුන් සිය නොපැමිණීම සම්බන්ධයෙන් දන්වා තිබුණේ අසනීප හේතුවෙන් ඡන්දයට නොපැමිණෙන බවය. එහෙත් ඇතැමුන් ඊට පෙර දින ඡන්දය සඳහා මැතිසබයට පැමිණ තිබුණි.
රට සල්ලි විකිණීමෙන් මාර ආදායමක්
පසුගිය කාලයේ අමෙරිකානු ඩොලරයේ අගය රුපියල හමුවේ ඉහළ යාමෙන් පසු විදේශ විනිමය අලෙවියෙන් රාජ්‍ය, පෞද්ගලික, මූල්‍ය ආයතන මසක් තුළ රුපියල් බිලියන හයක පමණ අධික ලාභයක් ලබා ඇතැයි වාර්තා වෙයි.
හාල් සහ පරිප්පු කඩිනමින් ගෙන්වයි
අතිරික්ත තොග පවත්වාගෙන යාම සඳහා හාල් සහ පරිප්පු කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. පරිප්පු හිඟයක් ලොව පුරා හටගෙන ඇත. ඔස්ට්‍රේලියාව හා කැනඩාව පරිප්පු අපනයනය සීමා කර තිබේ. එම නිසා පරිප්පු මිල ගණන් ඉහළ ගොස් ඇත. ඒ අතර රටට අවශ්‍ය හාල් තොග ඇතත් එළඹෙන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සහල් ආනයනය කඩිනම් කිරීමට තීන්දු කර තිබේ.