2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

මුහුණු පොතෙන් ඔක්සිජන් විකුණයි!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

චමිඳු නිසල් ද සිල්වා I

කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යන ඔක්සිජන් විකිණීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු දේශයට වාර්තා වෙයි.

මෙහිදී එක් ඔක්සිජන් සිලින්ඩරයක් විකුණන්නේ රු. එක්ලක්ෂ පනස් දහසකටය.

මුහුණපොතේ අලුතින් නිර්මාණය කරගත් පිටුවක් හරහා කිලෝ 47 ඔක්සිජන් සිලින්ඩරයක් රැපියල් හැත්තෑපන් දහසකට අලෙවි කරන බවට දැන්වීම පළ කරමින් මෙම පිරිස සිය ව්‍යාපාර සිදුකරමින් සිටිති. දැන්වීමේ සිලින්ඩරයක් රැපියල් හැත්තෑ පන්දසක් බව දැක්වුණද මිලදී ගැනීමට උත්සාහ කරන පාරිභෝගිකයන්ට ඔක්සිජන් හිඟය හේතුවෙන් මිල ගණන් වෙනස් වී ඇති බව ඔවුන් දන්වනු ලබයි. පසුව නව තොගයක් බව පවසමින් කිලෝ 47 ඔක්සිජන් සිලින්ඩරයකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මිලක් නියම කිරීම සිදුවේ. ඒ අනුව Oxygen 47KG සිලින්ඩරය, Medical Regulator සහ Oxygen Mask යන ත්‍රිත්වයම රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට නිවසට රැගෙන විත් භාරදීම මෙම පිරිස කටයුතු කරයි.

අප මේ සම්බන්ධව ඖෂධ නියාමන අධිකාරියෙන් විමසීමක් සිදුකළ අතර මෙරට ඔක්සිජන් වායු අලෙවිය සඳහා අවසර ලබා දී ඇත්තේ ආයතන දෙකකට පමණක් බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුරටත් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.