2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

කුස්සියේ බඩු මිල මාර පරිප්පුවක්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

I සංජීවිකා සමරතුංග

අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණන් ඉහළ ගොස් තිබේ. පරිප්පු, සීනි, අර්තාපල්, සැමන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ද මේ අතර වන බව අපගේ වෙළෙඳපොළ නිරීක්ෂණයේදී හෙළිදරව් විය.

අර්තාපල්, පරිප්පු හා සීනි මිල ගණන්ද සමඟ මාළුමිරිස්, බෝංචි වැනි එළවළු වර්ග ගණනාවක්ද, අමුමිරිස් මිලද ඉහළ යමින් තිබෙන බව මැනිං වෙළෙඳපොළ වෙළෙන්දෝ ගණනාවක් අප සමඟ පැවසූහ. අර්තාපල්, සීනි හා පරිප්පු, අමුමිරිස් ආදියේ කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබේ. සීනි මිල මසක් තුළ 75%කින් පමණ වැඩි වී ඇත. විශේෂයෙන් පරිප්පු සහ සීනි මිල ගණන් මෙලෙස ඉහළ යාමට හේතුව රුපියල අවප්‍රමාණ වීමත්, ලෝක වෙළෙඳපොළේ එම ද්‍රව්‍ය මිල ඉහළ යාමත්ය. පසුගිය කාලයේ ආසියාවේ ප්‍රධාන පරිප්පු නිෂ්පාදකයා වූ ඉන්දියාවේ දැන් පරිප්පු නිෂ්පාදනය සීමා වී තිබේ. ඉන්දියාව ඔස්ට්‍රේලියාවෙන් පරිප්පු ආනයනය කරන්නට පටන්ගෙන ඇත. එසේම අනෙක් ප්‍රධාන පරිප්පු නිෂ්පාදකයා වූ කැනඩාවේ අධික ශීත කාලයක් උදාවීම නිසා පරිප්පු නිෂ්පාදනය අඩාල වීම පරිප්පු මිල ඉහළ යාමට බලපෑ අනෙක් හේතුව බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.