2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථා යෝජනා පක්ෂවලට යවයි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41


යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදන ලේකම් කාර්යාලය සකස් කළ යෝජනා මාලාව ඉදිරි දින කිහිපය තුළ පිළිගත් දේශපාලන පක්ෂවලට ලබාදීමට රජය තීරණය කර ඇත.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය (පාර්ලිමේන්තුව) විවිධ කාරක සභා ලෙස රැස්වී සකස් කළ යෝජනා මෙම ලේඛනයේ ඇතුළත් බව දේශයට වාර්තා වෙයි. මෙම යෝජනා ගැන ඒ ඒ දේශපාලන පක්ෂවලට නිශ්චිත කාලයක් තුළ ප්‍රතිචාර දැක්වීමට අවකාශ සැලැසෙයි.

කෙසේ වෙතත් මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරය ආරම්භ වන්නේ මැයි මස මුල් සතියේය. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවන දිනය ප්‍රකාශ කෙරේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය අඟහරැවාදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේ ව්‍යවස්ථා සංශෝධනයේදී ජනමත විමසුමකට තුඩුදෙන කිසිදු යෝජනාවකට එකඟ නොවන බවටය. ඒ අතර ශ්‍රිල.නි.ප.යද එම මතයම දරන බව සඳහන් වෙයි. එ.ජා.ප.ය මෙන්ම ශ්‍රීල.නි.ප.යද ඒකාබද්ධ විපක්ෂයද යට කී යෝජනා මාලාව තම පක්ෂවලට ලැබුණ පසු ලිඛිතව සිය ප්‍රතිචාර දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

l දේශපාලන වාර්තාකරු