2021 ජුනි 26 වන සෙනසුරාදා

විභාග දෙපාර්තුමේන්තුවේ පුදුම ඉල්ලීමක්

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 59


I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වසර දෙකක් තිස්සේ ප්‍රතිඵල නිකුත් කර නැති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල ලේඛන සකස් කිරීමට පෙර එම විෂය සඳහා පාසල්වල පවත්වන ලද අවසන් වාර විභාගයේ ලකුණු එවන ලෙස විභාග දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් බොහෝ විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ඉල්ලීම විභාග දෙපාර්තමේන්තුව පාසල් වෙත යොමු කිරීම පුදුම සහගත බව ඔව්හු කියති.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබෙන අවිධිමත් පිළිවෙළ නිසා මාර්ගගත ක්‍රමයට පවත්වන ලද විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර මැකී ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
රාජ්‍ය සහ පෞද්ගලික තාක්ෂණික ආයතන ගණනාවක සහාය ලබාගෙන එම පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන්නට තැත්කළ නමුත් ඒවායේ වැරදි භාවිතය නිසා කිසිවක් කරගත නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

මේ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දෙමව්පියන් ගණනාවක් කරන ලද ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා ඔවුන් ඒ ගැන නඩුවක් ගොනු කිරීම සඳහා දැන් නීති උපදෙස් ගනිමින් සිටින බව ගුරු සංගම් ප්‍රකාශකයෙක් දේශයට කීය. මෙම නඩුව මගින් ප්‍රතිඵල නිකුත් කර නොමැති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ගැන පූර්ණ තාක්ෂණික පරීක්ෂාවක් අධිකරණය ලවා පවත්වා ලක්ෂ ගණනක් වන තම දරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසූහ.