Iකටුනායක ටී.කේ.ජී. කපිල
දිවයිනේ ප්‍රධානම මාළු අලෙවිපොළක් වන මීගමුව පිටිපන මාළු ලෙල්ලමේ දිනපතා මාළු විකිණීම, මේ දිනවල 80%කින් පමණ පහළ බැස ඇති බව, ලෙල්ලමේ කළමනාකරු ගීත් කුමාර මහතා පැවසීය.
ඔහු පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය නියෝජනය කරමින් වසර ගණනාවක සිට මෙම ලෙල්ලමේ පාලන කටයුතු සිදු කරයි.
ඒ අනුව ජූනි මස 09 දින ලෙල්ලමේ හුරුල්ලන් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 400 කටත්, සාලයා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 120 කටත්, ගල්මාළු (මධ්‍යම) කිලෝග්‍රෑම් 01ක් රුපියල් 500 කටත්, කෙළවල්ලා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 350 කටත් අලෙවි විය. මෙම මිල අඩුවීම පසුගිය දිනවලට සාපේක්ෂව රුපියල් 100ත් - රැපියල් 150ත් අතර බව ගීත් කුමාර මහතා පැවසීය.
මෙසේ මිල අඩුවී ඇත්තේ රටපුරා පනවා ඇති සංචරණ සීමා නිසා පාරිභෝගික ජනතාවට ලෙල්ලම වෙත පැමිණ මාළු මිලදී ගැනීමට නොහැකි වීම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම සමඟ පැතිර යන විවිධ ප්‍රවෘත්ති නිසා ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිකරුවන් මාළු පරිභෝජනයට බියක් දැක්වීම වැනි හේතු බවද ගීත් කුමාර මහතා පැවසීය.
එසේම පසුගිය දින කීපය තුළ මාළු මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීම නිසාද සුළු පරිමාණ ජංගම වෙළෙඳ ව්‍යාපාරිකයන් ලෙල්ලම වෙත පැමිණීම අඩු වී තිබේ. මේ තත්ත්වය නිසා මීගමුව, පිටිපන ලෙල්ලමේ මාළු, අලෙවි කර ගැනීමට නොහැකිව ගොඩ ගැසී තිබේ.