2021 මාර්තු 20 වන සෙනසුරාදා

අලුත් කොවිඩ් එන්නත් 78: ශාකසාර එන්නතකුත්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I සුගත් පී. කුලතුංගආරච්චි

ශාකසාර එන්නතක්, නාසයට ස්ප්‍රේ - බිඳිති ලෙස විසිරුවන එන්නතක්  ඇතුළු අලුත් කොවිඩ් එන්නත් 78ක් මේ වනවිට මිනිසුන් යොදා පූර්ව සායනික පර්යේෂණ සඳහා යොමුකර තිබේ..

ඒ දැනට හදිසි භාවිතය සඳහා අවසරය ලැබී ඇති එන්නත්වලට අමතරවය. මේ අලුත් එන්නත් අතරින්ද 22ක් මේ වනවිට අවසන් සායනික මට්ටමට  ළඟාවී තිබේ.

මේ අලුත් එන්නත් අතරින් කැනඩාවේ නිෂ්පාදනය කර ඇති CoVLP නම් වූ ශාකසාර එන්නත එහි 3 වැනි අදියරේ සායනික පර්යේෂණ ඉකුත් 16දා ඇරඹුවේය. බොහෝ දුරට ලෝකයේ ඊළඟට හදිසි භාවිතය සඳහා අනුමැතිය මේ එන්නතට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දුම්කොළ ශාක විශේෂයකට (Nicotiana benthamiana), කොවිඩ් 19 වෛරසය ඇතුළු කර සාදගන්නා වෛරස ප්‍රෝටීනය සහ ප්‍රතිශක්ති වර්ධක සහායක රසායනයක් යොදා නිපදවා ඇති මේ එන්නතද මාත්‍රා 2ක් ලෙස සති 3ක විරාමයකින් භාවිත කළ යුතුව ඇත. මෙය 18 – 55 අතර වයස් කාණ්ඩය සඳහා සුදුසු බවත් සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි බවත් වාර්තා වේ.