2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ණය ගෙවීම කල් දාගන්න චීනය සමඟ කතා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 47


l සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකා රජය විසින් චීනයට ගෙවිය යුතු ණය මුදල් පියවීම සඳහා තවත් සහන කාලයක් ලබාගැනීමට රජය චීනය සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. 

පසුගිය කාලයේ ඇතිකරගත් ණය ගිවිසුම් ගණනාවක් හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන සිය ගණනක ණය පියවීමට රජයට සිදුව ඇත. එම ණය බර ආර්ථිකයට දරාගැනීමට අපහසු නිසා වර්ෂ 2017, 2018 හා 2019 වසරවල පියවීමට ඇති ණය ප්‍රතිලේඛන ගතකොට පසුව පියවීමට අවසරය ලබාගැනීම රජයේ අරමුණයි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ බලධරයන් ළඟදීම චීන රජයේ ප්‍රධානින් සමඟ සාකච්ඡා ඇරඹීමට අපේක්ෂිතය.
දේශයට වාර්තාවන ආකාරයට 2017 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 478ක් 2018 වසරේ ඩොලර් මිලියන 494ක්ද 2019 වසරේ ඩොලර් මිලියන 550ක්ද වශයෙන් ඩොලර් මිලියන 1522ක් ණය වාරික හා පොලී මුදල් ලෙස එකී වසර තුන තුළ චීනයට ගෙවිය යුතුව ඇත. මෙම ණය ලබාගෙන ඇත්තේ චීන රජය, චයිනා ඩිවලොප්මන්ට් බැංකුව හා චීන එක්සිම් බැංකුව වෙතිනි.