l දේශපාලන වාර්තාකරු
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
එමගින් පිටු දහස් ගණනකින් යුත් දීර්ඝ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කොට කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ සකස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් පසුගිය යහපාලන රජයේ කැබිනට් සාමාජිකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා එල්ල කර තිබේ. මේ අය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාව ලබා දී තිබෙන නිර්දේශ නීතිපතිවරයා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
2019 අප්‍රේල් 21දා සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 269 දෙනෙක් ඝාතනය වී තවත් 500ක පමණ පිරිසක් තුවාල ලදහ. ඉන්පසු මේ සිද්ධිය ගැන විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන කොමිසම පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා එහි සභාපතිත්වය දැරීය.
මෙම කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ විධිමත් ලෙස වහාම ක්‍රියාත්මක කරන ලෙස මේ වන විටත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. නිදහස් දිනය දා ජාතිය අමතා කතා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය බරපතළ අපරාධයක් බවත් ඒ ගැන කඩිනම් පියවර ගන්නා ලෙස නීතිපතිට උපදෙස් දී ඇති බවත්ය. මේ මහා අපරාධය සැලසුම් කළ හා ඊට අනුබල දුන් අයට එරෙහිව රජය දැඩි පියවර ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය..