2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

බටහිර ජැටියේ ඉන්දියා තීන්දුව සති දෙකකින්

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

ව්‍යාපාරික වාර්තාකරු l

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාව සහ ජපානය කැමැතිද අකමැතිද යන්න දෙසතියක් තුළ ප්‍රකාශ කිරීමට නියමිත බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

පසුගියදා ඉන්දියාව සහ ජපානය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට අත්සන් කළ ගිවිසුමෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව මෙම දෙරටට වරායේ බටහිර ජැටිය සංවර්ධනය සඳහා ලබාදෙන බවට ප්‍රතිඥා දුනි. මෙයට නැගෙනහිර ජැටිය පැවරීමට විරුද්ධ වූ වෘත්තීය සංගම් ද එකඟත්වය පළ කර තිබිණි. එසේම මෙම ආයෝජනය සඳහා ඉන්දියාව නම් කළ අදානි සමාගම සහ එහි දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් සමාගම ද මේ වන විටත් බටහිර ජැටිය සංවර්ධනයට සිය කැමැත්ත පළ කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

බටහිර ජැටිය සංවර්ධනය ගැන ඉන්දියාව සහ ජපානය දැන් ඒකාබද්ධ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. දෙසතියක් තුළ එහි තීන්දුව ප්‍රකාශ කෙරෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඊට අදාළව දැනටමත් ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන ඇත. ඒ අනුව බටහිර ජැටියේ කොටස්වලින් 85%ක් ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ආයෝජනයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.