2021 ජනවාරි 16 වන සෙනසුරාදා

මැතිසබා රැස්වීම් පිළිබඳ තීන්දුව පක්ෂ නායකයන් අතේ

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

I දේශපාලන වාර්තාකරු

මැති ඇමැතිවරුන් ගණනාවකට කොරෝනා රෝගය ආසාදනය වී ඇති නමුත් ලබන අඟහරුවාදා (19) සුපුරුදු ලෙස මැති සබය රැස් කෙරෙන බව දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

එහෙත් ලබන සඳුදා දිනයේ (හෙට) පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මැතිසබය පවත්වාගෙන යන ආකාරය ගැන අවසන් තීන්දුව ගැනීමට නියමිතය. පසුගියදා කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙක් ඇතුළු සේවකයන් 463කගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළේය. එයින් සේවක සේවිකාවන් 6 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇත. එහෙත් පරීක්ෂණයට මුහුණදුන් කතානායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීන්ට රෝගය ආසාදනය වී නැත. කලින් රෝගය ආසාදනය වූ මැති ඇමැතීන් 3 දෙනා දැනට ප්‍රතිකාර ලබමින් සිටිති.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ගණනාවකටත් නිලධරීන් ගණනාවකටත් කොරෝනා රෝගය බෝවීමට පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශවල තිබූ දුර්වලතාවන්ද බලපෑ බව නම් සඳහන් කිරීමට අකමැති වූ මැති ඇමැතිවරු ගණනාවක්ම සඳහන් කළහ. එම නිසා පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු බාර වගකිවයුත්තන් වඩාත් වගකීම් සහගතව ක්‍රියාකළ යුතු බවද ඔවුහු කීහ. ඒ අතර ලබන සතියේ රුස්වීමට පෙර මැතිසබා ගොඩනැගිල්ල පූර්ණ විෂබීජහරණයකට ලක්කළ බවද වාර්තා වෙයි.