2021 ජනවාරි 16 වන සෙනසුරාදා

මුතුරාජවෙල රැකගන්න පල්ලියෙන් පරිසර කමිටු

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I කුසුම්සිරි විජයවර්ධන

ආන්දෝලනාත්මක හෝටල් ව්‍යාපෘතියක් නිසා අනතුරකට මුහුණ දී ඇති මුතුරාජවෙල තෙත්බිම රැකගැනීම සඳහා මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ පල්ලි ආශ්‍රිතව පරිසර කමිටු පිහිටුවා ඒ සඳහා වන විරෝධතා ව්‍යාපාරය දිගටම ගෙන යන බව මුතුරාජවෙල පරිසරය සුරැකීමේ ව්‍යාපාරයේ ප්‍රකාශක දිනුෂ නානායක්කාර මහතා දේශයට කීය.

ඒ සඳහා වන පරිසර කමිටු පිහිටුවීම ප්‍රදේශයේ පල්ලිවල පියතුමන්ලා විසින් දැනටමත් ආරම්භ කර තිබේ.

මුතුරාජවෙල හෝටල් ව්‍යාපෘතියේ අර්බුදය හටගත්තේ එම අභය භූමියේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම්කර තිබූ (අභය භූමියක්) බව සඳහන් නාමපුවරු අදාළ හෝටල් සමාගම විසින් ඉවත් කිරීමත් සමඟය. ඒ වෙනුවට “මෙය පුද්ගලික ඉඩමකි. ඇතුළුවීම තහනම්” යන නාම පුවරු එම සමාගම විසින් අලුතෙන් සවිකර ඇත. එකී නාමපුවරු ඉවත්කොට මෙම අභයභූමියේ ආරක්ෂාව තහවුරු කරන තුරු ඒ සඳහා වන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව දිනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කීය.

පසුගියදා හෝටල් ව්‍යාපෘතිය ගැන කරුණු දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවූ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සඳහන් කළේ මුතුරාජවෙල හෝටල් හා ගොල්ෆ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවය.

මේ ගැන කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා ප්‍රකාශකළේ අදාළ හෝටල් සමාගමේ අයදුම්පත අනුව පරිසර බලපෑම් අගැයීමේ ක්‍රියාවලියට අවසරය ලබාදුන් බවය. එහි වාර්තාව ලැබුණ පසු විද්‍යාත්මක හා තාක්ෂණික කමිටුවක් මගින් අගැයුමට ලක්කොට මහජන අදහස් විමසීම සිදුකෙරේ. ඒ සියල්ල අවසානයේ මෙම ව්‍යාපෘතියට අවසරය දීම හෝ නොදීම  තීන්දු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.